Wednesday, September 11, 2013

අද මට ඉන්න හිටින්න තැනක් නෑ

‘ලස්සන කෙල්ලෙක්'

'අපේ වැඩේට කියාපු ළමයා’

ඔහුගේ කීමට වාහනේ හිටිය හැමෝම බැලුවේ ඇගේ දිහාවේ.


අපේ නළුවා ඒ ලස්සන කෙල්ලට කතා කළා.

‘ඔයාගේ නම මොකක්ද?’

විකටයෙක් විදියට සිනමා රසිකයන්ගේ හද දිනාගෙන සිටිය ඇන්තනී සී.පෙරේරාගෙන් ඒ කෙල්ලට ප්‍රශ්න වැලක්. කොහොමින් කොහොම හරි ඇන්තනීත් එක්ක යාළුවුණු කෙල්ලන්ට ඔහු අපූරු ආරාධනාවක් කළා. ඒ,ඒ දවස්වල රූගත කෙරුව'චණ්ඩියා’ චිත්‍රපටයේ ෂූටින් බලන්න.

රූගත කිරීම් නරඹන්න ආව කෙල්ලො කට්ටිය අතර හිටිය මේරි පිලීෂියාව දැක්ක ටයිටස් තොටවත්ත ඈට අපූරු යෝජනාවක් කළා.ඒ ක්ලබ් ගර්ල්ට රඟපාන්නයි. ගාමිණී ෆොන්සේකා එක්ක ඈ රඟපෑවා. ඒ විදියටයි ඈ රංගනයට අත්පොත් තිබ්බේ.

‘සෝනියා දිසා’

‘අනේ මම නපුරු කෙනෙක් නම් නොවෙයි.ඒ නපුරුකම තිබුණේ මම රඟපෑ චරිතවලට පමණයි. ඒ දවස්වල චිත්‍රපට බැලුව බොහෝ සිනමා රසික – රසිකාවන් කිව්වෙ ඔය කතාවමයි.ඒත් චිත්‍රපට අධ්‍යක්ෂවරු නම් කිව්වේ සෝනියා ඔයා ඒ චරිතය හොඳට නිරූපණය කළ නිසයි ඔය ප්‍රතිචාර කියලා. එක වෙලාවකට ඒ ගැන සතුටක් ඇති වුණත් තවත් වෙලාවකට ඒ ගැන මට දුකයි. ඒ බොහෝ රසිකයෝ මා ගැන වැරැදි විදියට හිතන නිසයි.'

බලාපොරොත්තු ගොන්නක් හදවත තුරුලු කරගත් සෝනියා දිසානායක සිය හඬ අවදි කළා

‘මගේ දුවයිල පුතයි දෙන්නාම සිටින්නේ ඔස්ට්‍රේලියාවේ.කරූ නැති වුණාට පස්සේ මා ඔවුන් ළඟට ගියා.ඔවුන්ගේ ආදරය මැද්දේ ගෙවන ජීවිතය බොහොම සුන්දරයි. ඒත් මට ඒ දේශගුණය අල්ලන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. දුවත්,පුතත් මම ඒගොල්ලන් ළඟම ඉන්න එකටයි ඒ අය කැමැති. ඒත් මම කැමැති ලංකාවට වෙලා කාලය ගත කරන්නයි.

මගේ යාළු - මිත්‍රාදීන් ඉන්නේ ලංකාවේයි. කාලයක් කලාව සමඟ ගෙවුණු මගේ ජීවිතය මට නිතරම සිහිපත් වෙනවා. කලාවෙන් ඈත් වෙලා මට ඉන්න බැරි තරම්. ඊළඟට දිගු කාලයක් මම ලංකාවේම ජීවත්වෙන්නයි සිතාගෙන ඉන්නේ. ඒ ඉන්න කාලයේදී රංගන කටයුතුවල නියැළෙන්නත් මගේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා.

සෝනියා දිසා විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ අද ඊයේ නොවෙයි.බොහොම කුඩා කාලයේ පටන්.තාත්තාගේ අහිමි වීම,ඊටත් පස්සේ අම්මා. තාත්තාගේ ආදරය අහිමි වුණත් අම්මා ඈ ළඟ සිටියා ඈ තමා හමුවේ ආ අභියෝග එකින් එක ජය ගත්තා.

‘ඇත්තටම මේ ගැන ගැන කියන්නත් කනගාටුයි. මට අද ඉන්න හිටින්න තැනක් නෑ. එක්කෝ යාළුවන්ගේ ගෙවල්වල, නැතිනම් හිතවතුන්ගේ ගෙදරකට වෙලා ගෙවන ජීවිතය මට ඇති වෙලා.ආයෙත් නිවසක් හදන්න මට වත්කමක් නෑ.මගේ නිවස මට අහිමි වෙලා.නිවෙස සම්බන්ධයෙන් විය යුතු සාධාරණය මට ඉටු වුණේ නෑ.දැන් ඒ වෙනුවෙන් නඩුවක් විභාග වෙනවා. ඒ සමථ මණ්ඩලයේ.

රටේ නමගිය දේශපාලනඥයෙක් වුණු කෙනෙක් තමන් කරන වැඩ ගැන ලැජ්ජා විය යුතුයි. මගේ දුක කියන්න මට අද කවුරුවත් නෑ.ජනාධිපතිතුමා කලාකරුවන්ට අතදෙන නායකයෙක් කියලා මා දන්නවා.මගේ අවනඩුව මම එතුමාට කියනවා. අනේ ජනාධිපතිතුමනි,මට සාධාරණයක් ඉෂ්ට කරන්න.මගේ නඩුව අහලා මට අයිති ගේ මටම ලබා දෙන්න. මම එතුමාගෙන් ආයාචනයක් කරනවා.’

මේ වනවිට චිත්‍රපට සියයකට වඩා සංඛ්‍යාවකට රංගන හැකියාව මුසුකළ සෝනියා චිත්‍රපට නිෂ්පාදනයත් කළා.

‘එදා එහෙම කළත් අද මම චිත්‍රපට නිෂ්පාදනය කරන තත්ත්වයක නෑ. මම හිතන්නේ නෑ මම නැවත ඒ ක්ෂේත්‍රයට පා තබයි කියලා. මේ වෙනකොට මගේ හැම දෙයක්ම නැති වෙලා.ඒ වගේ පසුබිමක කොහොමද මම චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ.'

ඈ විමසන්නේ සිතෙහි තෙරපෙන ශෝකයෙන්. ඇගේ මේරි පිලීෂියා කියන නම වෙනසකට ලක්වෙන්නේ තිස්ස අබේසේකරයන් නිසා.පිලීෂියාව දකින තිස්ස අබේසේකර ඇගේ නමත් වෙනස් කළා.'සෝනියා’ කියලා වෙනස් කළ නම ඇයට රිදී තිරයේදී වාසනාව ගෙනාවා. අදත් සිනමා රසිකයෝ මාව දන්නේ පිලීෂියා කියලා නම් නොවෙයි. සෝනියා කියලා.

මේ වෙනකොට මම ලංකාවට ඇවිත් ඉන්නේ කියලා බොහොම දෙනෙක් දන්නෙත් නෑ. අධ්‍යක්ෂවරයෙක් කතා කළොත් චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට වුණත් රඟපාන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නේ.’

කාලයක් රංගනය තම ජීවිතය කර ගත්ත සෝනියා නැවතත් ඊට පිවිසීමට සිටින්නේ බොහොම කැමැත්තෙන්. ඒ තරමටම රංගනයට ඇය ආදරය කරන වග නම් කාටත් රහසක් නොවෙයි .